Skip to main content

කෝටි ගනනින් විකිණෙන පැරණි අකුණු සන්නායක

අද වෙනකොට පැරණි රේඩියෝ වල තිබෙන රසදිය වලට වගේ මීට කාලෙකට කලින් අකුණු සන්නායක වලටත් කෝටි ගනන් ඉල්ලුම් එන්න පටන් ගත්තා.


2018 වසරෙ දවසක පොලීසියෙන් අපිට ලිපියක් ලැබෙනවා ඕලන්ද යුගයට අයත් පැරණි අකුණු සන්නායකයක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහි කිසියම් ශක්තියක් ගබඩා වී ඇත්දැයි පරීක්ෂා කර දෙන ලෙසත්. අපේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත මමත් තව සගයෙකුත් එය පරීක්ෂා කරන්න එක්තරා පොලිස් ස්ථානයකට ගියා. අපි යනකොට මේ අකුණු සන්නායකය නඩු භාණ්ඩයක් විදියට උසාවියට ඉදිරිපත් කර තිබූ නිසා එය පරීක්ෂා කර බැලීමට තිබූ අවස්ථාව අහිමි උනා. 

නමුත්, අපිට කළින් එහි පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ අකුණු සන්නායකය ඕලන්ද යුගයේ එකක් නොවෙන බවත් VOC ලාංඡනය සහිතව ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවටත් හඳුනාගෙන තිබුණා. මේ ඔය අකුණු සන්නායක කතාවෙ එක පරිච්ඡේදයක්. 

පැරණි අකුණු සන්නායක වල භූගත තහඩුවේ  (earth plate) වසර ගණනක් අකුණු ගැසීමෙන් ආරෝපණ රැස් වන බවත්, මේ ආරෝපණ විශේෂ යන්ත්‍රයක් මගින් රැස් කරගෙන යන්න ඇමරිකාවෙ නාසා ආයතනයෙන් පිරිසක් පැමිණ ඇති බවත්, ඔය තහඩුව හාරන වැඩේ ප්ලාස්ටික් සවලකින් කළ යුතු බවත්, නැති නම් අර ශක්තිය නැති වී යන බවත් එක්තරා පිරිසක් ව්‍යාජ මතයක් අරගෙන ගියා. එහෙම ව්‍යාජ ඉල්ලුමක් හදලා සල්ලි තියෙන රට හාවො ටිකකට එයාලම මේවා විකුණපු එක තමයි උනේ. එයාලා තවම බලං ඉන්නවා ඇති නාසා එකෙන් එනකං. ඔය ආරෝපණ ගැන කියන කතා සියල්ල පට්ටපල් බොරු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒත් සමාජයේ හැම ස්ථරයකම වගේ පිරිස් සහ ආයතන මේ ගැටයට අහු වෙලා විශාල ලෙස පාඩු ලැබූ බව අපි දන්නවා. 

(www.zjshibang.com)

මේ බොරු කතාවෙ එක තැනක කියවුණු දෙයක් තමයි මේ අකුණු ආරෝපණ නිසා ඔය භූගත සන්නායකය විකිරණශීලී වෙන බව. මේ නිසා ඇතැම් කපටින් මේවා ගලවගෙන ගිහිල්ලා තිබුණේ අපේ ආයතනයේ නම පවා පාවිච්චි කරලා. මේකත් එක්ක බැඳුනු තවත් කතන්දර කන්දක් තියෙනවා. කොහොමහරි මේ ලියන්නෙ ඔය ව්‍යාජ අකුණු සන්නායක කතාව ගැනම නෙමෙයි. අකුණු සන්නායක සහ බැඳුණු විකිරණශීලීතාවය සම්බන්ධයෙන් කිසියම් සත්‍යයක් තියෙනවා. හැබැයි මේ කතාවෙ වගේ අකුණු වැදීම නිසා වෙන දෙයක් නෙමෙයි. අකුණු මගින් කිසිවක් විකිරණශීලී කළ නොහැකියි.

සාමාන්‍යයෙන් අකුණු සන්නායකයකින් කරන්නෙ වායුගෝලයේ අකුණක් විදියට රැස් වෙන විද්‍යුත් ආරෝපණ ඉක්මනින් භූගත කිරීම හෝ උදාසීන කිරීම. ඒක නිසා දැන් භාවිතා වෙන බොහොමයක් අකුණු සන්නායක වල තියෙන්නෙ ගොඩනැගිල්ලක මුදුනෙ සවි කළ ලෝහ තුඩක සිට පොළව තෙක් විහිදුනු ලොකු තඹ පටියක්. තඹ හොඳ විදුලි සන්නායකයක් නිසා මේ වැඩේට සුදුසුයි. මේ වර්ගයේ අකුණු සන්නායක වලින් කෙරෙන්නෙ ඒ ගොඩනැගිල්ල ආශ්‍රිතව අහසේ රැස් වෙන ආරෝපණ භූගත කිරීම. 

කොහොම නමුත්, අවුරුදු 50-60කට විතර කළින් තවත් තාක්ෂණික ක්‍රමයක අකුණු සන්නායක වෙළඳපොළට ආවා. ඒ තමයි මේ භූගත සන්නායකයට අමතර ව අකුණු සන්නායකය මුදුනේ සවිකරලා තියෙන වලලු ආකාර කිරුළේ විකිරණශීලි ප්‍රභව සවිකළ අකුණු සන්නායක. මේ අකුණු සන්නායක වල රේඩියම්-226 (Ra-226) හෝ ඇමරිසියම්-241 (Am-241) වගේ මූලිකව ඇල්ෆා විකිරණ නිකුත් කරන, කුඩා විකිරණශීලී ප්‍රභව 4 සිට 9  දක්වා සංඛ්‍යාවක් අමුණලා තියෙනවා. මේ විකිරණශීලී ප්‍රභව යෙදීමේ අරමුණ උනේ ඒ විකිරණශීලී ප්‍රභව නිදහස් කරන විකිරණ නිසා අවට වායුගෝලය අයනීකරණය වීමෙන් අකුණු උදාසීන වීමේ කාර්‍යය වඩා කාර්‍යක්ෂම කිරීම. මේ මම අමුණලා තියෙන රූප වල ඒ වර්ගයේ අකුණු සන්නායක පෙන්නලා තියෙනවා.

 (රවුම් කර දක්වා ඇත්තේ විකිරණශීලී ලෝහ පතුරු වේ.) (www.thejournal.ie, www.orau.org)

ප්‍රශ්නය තමයි, මේ අකුණු සන්නායක කිරුළ ඉතා ඉහළ විකිරණශීලීතාවයකින් යුතු වීම (අකුණු සන්නායකය භූගත වෙන තහඩුව හෝ කිරුළ සහ භූගත සන්නායකය යා කරන තඹ පටියේ කිසිම විකිරණශීලී ද්‍රව්‍යයක් නෑ). කිසියම් හේතුවක් නිසා ගැලවීමෙන් පස්සෙ මේවා ගෙදරක මිනිස් වාසයට ආසන්නයෙන් තිබ්බොත් ඉතා ඉහළ අහිතකර විකිරණ නිරාවරණයකට නිවැසියන් ලක් වෙන්න පුළුවනි. මේ හේතුව නිසාම මේ වෙනකොට මේ වර්ගයේ අකුණු සන්නායක භාවිතයෙන් ඉවත් කරලයි තියෙන්නෙ. නමුත්, ලංකාවෙ උනත් ඇතැම් පරණ ගොඩනැගිලි වල තවමත් මේ අකුණු සන්නායක තියෙනවා. ගොඩනැගිල්ලක මුදුනෙ තියෙන මේ වර්ගයේ අකුණු සන්නායකයකින් අර කළින් කිව්වා වගේ ඍජු අහිතකර බලපෑමක් වෙන්නෙ නෑ. ඒක නිසා ඒවා බලෙන් ගලවන්න අවශ්‍ය යැයි කියන්නෙ නෑ අපි. හැබැයි, මේවායේ තියෙන අර කුඩා විකිරණශීලී පතුරු කාලයත් එක්ක දිරලා කැඩිලා වැටෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්.

මේ ගැන දැන සිටිය යුතු දේ තමයි මේ අකුණු සන්නායක වල තියෙන විකිරණශීලී ද්‍රව්‍ය වලට විශේෂ වටිනාකමක් නැති බව. ඒක නිසා මෙව්වා ලක්ෂ ගණන් වලට විකුණන්න හිතාගෙන බිස්නස් එකක් ප්ලෑන් කරන්න යන්න එපා දැන්. ඒ වගේම ඒවා භාවිතයෙන් ඉවත් කෙරෙනවා නම් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත බාර දිය යුතු බව මතක තියාගන්න. ඒවා මණ්ඩලයට විකුණන්න නම් උත්සාහ කරන්න එපා. මණ්ඩලය ඒවා මිලදී ගන්නෙ නෑ. . ඒවායෙන් ජනතාවට විය හැකි හානි සළකලා සුරක්ෂිතව ගබඩා කිරීම පමණයි මණ්ඩලයේ වගකීම වෙන්නෙ. අනිත් දේ තමයි විකිරණශීලී නිසා ආසාවට මේ පතුරු එකතු කරන අඥාන වැඩේ නම් කොහොමටවත් කරන්න එපා. නිසි ආරක්ෂිත ක්‍රම, මෙවලම් සහ දැනුම නැතුව ඒවා අතපත ගාන එකෙන් විය හැකි සෞඛ්‍ය හානි නැවත නිවැරදි කළ නොහැකියි. ඒ වගේම නියාමන සභාවේ විශේෂිත අවසරයකින් තොරව මේ විදියෙ විකිරණශීලී ප්‍රභව ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සිහියේ තියාගන්න.


මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී...

Comments

You May Like

GTA V vehicles in Real Life (bikes)

Mommy's tricks

Local guide ගැන සිංහලෙන්